දේවගැති දිමුතු දළුවත්තයන්ගේ ජිවිත කතාව.

ජිවිතයේ හුදකලා වූ මිනිසුන් සහ බලාපොරොත්තු රහිත මිනිසුන් ලෝකය පුරා ඇත. නමුත් අළු මතින් ධෛර්යවත්ව නැගිටින්නේ බොහොම විරල වූ මිනිසුන් ප්රමාණයකි. ක්රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලේ සභාවේ ප්රධාන පූජක දිමුතු දළුවත්තයන්ගේ ගේ කතාව මෙසේ දෙවියන් වහන්සේගේ ප්රේමයේ අසමසම බලයෙන් පමණක් හැදී වැඩුණු දුර්ලභ මිනිසෙකුගේ කතාවකි.
ශ්රී ලංකාවේ තිස්සමහාරාමයේ පන්නගමුව නම් සුන්දර ගම්මානයේ උපත ලැබූ දිමුතු දළුවත්තයන් තම කුඩා කාලයේ යහපත් පවුල් පසුබිමක් තුල ආදරණිය දරුවෙකු සේ මවුපිය රැකවරණය තුල හැදී වැඩුනි. සමස්ථ දුවා දරුවන්ට ආදරණිය ගුරුවරියක් මෙන්ම විදුහල්පතිවරියක් වූ ඔහුගේ මව සහ ඉඩම් හිමියෙකු වූ ඔහුගේ පියාගේ රැකවරණය තුළ ඔහුට සහ ඔහුගේ නැගණියට නිවසේ කිසිඳු අඩුපාඩුවක් නොවූ අතර කුඩා කල සිටම නිවසේ පරිසරය අධ්යාපනය දෙසට ඔවුන් ධෛර්යමත් කරන්නට විය. දිමුතු දළුවත්ත සහ ඔහුගේ සොහොයුරිය අධ්යාපනයේ උපන් හපන්කම් පෑ දෙදෙනෙක් වු අතර නිවසේ තිබු මෙම අධ්යාපනික පරිසරය අධ්යාපනය තුල ඔවුන්ගේ අනාගත ඉලක්ක ගොඩ නැගීමෙහි ලා විශේෂ බලපෑමක් සිදු කරන ලදී.
දිමුතුගේ අධ්යාපනය ආරම්භ වූයේ පන්නගමුව රාජකීය විද්යාලයෙන් වන අතර, එහි එකල නියෝජ්ය විදුහල්පතිනිය ලෙස සේවය කල තම මවගේ අතේ එල්ලී පාසැල වෙත පිය නැගිය. මෙසේ ප්රථමික අධ්යාපනය ආරම්භයේ සිටම, කුඩා දිමුතුගේ සුවිශේෂී බුද්ධිය කැපී පෙනෙන්නක් විය. තුන් වන වසරේ සිට ඔහු තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති ප්රථමික විද්යාලයේ අධ්යාපනය ලද අතර එහිදී ඔහු 5 වසර ශිෂ්යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් විය. එහි ප්රතිපලයක් ලෙස කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගරයක ජනප්රිය පාසලකට යාමට ඔහුට අවසථාව හිමි වුවද පවුලේ වැඩිමල් දරුවා ලෙස මවගේ අපරිමිත සෙනෙහස සෙනෙහසෙන් ඈත්ව දුර පළාතක අධ්යාපනය ඔහුට ඉතා අපහසු දෙයක් විය. එපමණකටම දිමුතු සහ ඔහුගේ බාල සොයුරිය මවු සෙනෙහසට අළුම්ව සිටියහ. එනමුත් ඔවුන්ගේ නිවස ආසන්නයේම පිහිටි හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රමුඛ අධ්යාපන ආයතනයක් වන දෙබරවැව මධ්ය මහා විද්යාලයට ඇතුළත් වීමට ඔහුට අවස්ථාව උදා විය.
ඔහුගේ පාසල් කාලය පුරාම, අධ්යාපනයේ උපන් හපන්කම් පෑම නිතැතින්ම සිදු වූ අතර, ඔහුගේ ගුරුවරුන්ට ඔහුගේ විශිඨ බුද්ධිය පමණක් නොව ඔහුගේ විනයගරුක චරිතය සහ විශිඨ නායකත්ව කුසලතාවයද හඳුනා ගත්හ. පසුව දිමුතු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා තම පියාගේ උපන් ගම වූ, හම්බන්තොට බඳගිරියේ ගම්මානයට පදිංචියට ගිය අතර ඔහුගේ අධ්යාපන ගමන දිස්ත්රික්කයේ පැරණිම අධ්යාපන මධ්යස්ථානය මෙන්ම විශිඨතම අධ්යාපන ආයතනයක් වන හම්බන්තොට ශාන්ත මේරි විද්යාලය දක්වා ගෙන ගියේය.
හම්බන්තොට ශාන්ත මේරි විද්යාලයේද විශිඨ සහ දීප්තිමත් ශිෂ්යයෙකු වූ දිමුතු දළුවත්තයන් ඔහුගේ අධ්යාපනයට ඇති උපන් හපන් කම සහ බුද්ධිය දුටු ඔහුගේ ගුරුවරුන් ඒ පිලිබඳ පුදුම වූ අවස්ථා බොහෝය. එපමණක් නොව ඔහුගේ කැපී පෙනෙන නායකත්වය මෙන්ම සිංහල සහ ඉංග්රීසි යන භාෂා දෙකම මැනවින් හසුරු වීමට උපන් හපන්කම් දැක් වූ චතුර කථිකත්වය ද කැපී පෙනෙන්නට විය. එපමණක්ද නොව, බෞද්ධ දහම් පාසල තුලද ඔහුගේ අධ්යාපනයට ඇති විශිෂ්ඨ හැකියාව සහ නායකත්වය ඉස්මතු කරමින් ඔහු එහි ශිෂ්ය නායකත්වය දක්වාද ශිෂ්ය සමිතියේ සභාපතිවරයා දක්වාද ගෙන ගියේය.
ඔහුගේ දෙමාපියන්, ගුරුවරුන්, ඥාතීන් මෙන්ම අසල්වාසීන් සියලු දෙනා බලාපොරොත්තු වූ පරිදි ඔහු අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙන් විශිඨ ලෙස සමත් වූ අතර අනාගතයේ වෛද්යවරයෙකු නිර්මාණය කිරීමේ සිහිනය සමග, දිමුතු ඔහුගේ අ.පො.ස. උසස් පෙළ අධ්යාපනය සඳහා ඔහුගේ දෙමාපියන් විසින් මාතලේ පිහිටි තම මවගේ සොහොයුරියගේ නිවසට ගෙන යන ලදී. උසස් පෙළ අධ්යාපනය සඳහා ඔහු මාතලේ විජයපාල විද්යාලයට ඇතුළත් වූ අතර, එහිද ඔහුගේ අධ්යාපනයට ඇති උපන් හපන්කම පමණක් නොව භාෂා දෙකෙන්ම චතුර ලෙස දක්වන කථිකත්වය, සහ නායකත්වය ඔහු පාසල් ශිෂ්ය නායකයෙකු දක්වාම ගෙන යන ලදී. නමුත් මෙම කාලසීමාවේදී අ. පො. ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට සුදානම් වෙමින් සිටි ඔහුට කවදාවත් නොසිතු ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදු විය. එය කිසිවෙක් නොසිතු හද කම්පා කරවන සිදුවීමක් පමණක් නොව, අධ්යාපනයේ අනාගත බලාපොරොත්තු සමග කල් ගත කල දිමුතුගේ ජිවිතයේ ප්රභල හැරවුම් ලක්ෂයක්ද විය. ඔහුගේ ජිවිතයේ අඳුරුතම පරිච්ඡේදය මෙම වකවානුව විය.
2004 වසරේදී දී, ඉන්දියානු සාගරයේ සුනාමි ඛේදවාචකය ශ්රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයට විශාල ලෙස බලපෑවේය. දිමුතුගේ ආදරණිය ලෝකය ක්ෂණිකව විනාශ කිරීමට තරම් මෙම ඛේදවාචකය සිත් බිත් නැති විය. ඔහුගේ ආදරණීය මව සහ එකම සහෝදරිය හම්බන්තොට නගරයේදී සුනාමි රළ පහරට ගසාගෙන ගියේ ඔවුන්ගේ නිසළ දේහයන්වත් දිමුතුට සහ ඔහුගේ පියාට නැවත දකින්නට නොලැබෙන ලෙසිනි. ඒ හද කම්පා කරවන වේදනාව විස්තර කළ නොහැකි තරම් විය. එදින තරම් තම ජිවිතයේ දිමුතු හැඬු දිනයක් නොමැත. ඔහුගේ හදවත මෙන් සමීපව සිටි ඔහුගේ මව සහ නැගණිය නැවත නොදකින තරම් අහිමි වීම ඔහු දැඩි කම්පනයකට පත් කරන ලද්දකි. නමුත් ඒ මතින් නැගිටින්නට තරම් ඔහු ධෛර්යමත් වුයේ අම්මා ජීවත් වන කාලයේ ඔහුට ඉගැන් වූ දෙය නම් “මෙම සමාජයට සේවය කරන සමාජයට අත්යවශ්ය සහ යහපත් මිනිසෙකු වෙන්න” යන අවවාදය මතක් කරමිනි. ඔහු ධෛරයත්ව නැගිටුනේ තම අධ්යාපන ගමන වෙනුවෙනි. ඒ මිය ගිය අම්මාගේ බලාපොරොන්තුව ඉෂ්ඨ කිරීමටය.
ඔහුගේ පියා ඇතුළු බොහෝ දෙනා ඔහුගේ අධ්යාපන ගමන අධෛර්යවත් කරමින් විවිධ බාධා කල නමුත් “මෙම සමාජයට සේවය කරන සමාජයට අත්යවශ්ය සහ යහපත් මිනිසෙකු වෙන්න” යන තම මවගේ අවවාදය මත ධෛර්ය ගනිමින් සිටි දිමුතු බාධක මධ්යයේ වුවද නොසැලෙන අධිෂ්ඨානයෙන් යුක්තව තම යහපත් ගමන ගියේය. එම අධිෂ්ඨානයේ කොපමණ ද කිවතොත් ඔහු උසස් පෙළ විභාගය සමත්ව රුහුණු විශ්ව විද්යාලයේ ධීවර හා සාගර විද්යා හා තාක්ෂණ පීඨයට ඇතුළත් වීමට වරම් ලබන්නේ මෙම ඛේදවාචකයේ කඳුළු පිස අවසන් වන්නටත් පෙරය. ඒ තරම් ඔහුගේ දක්ෂතාවය සහ අධිෂ්ඨානය බලවත් විය.
තම උසස් අධ්යාපනය සඳහා ධීවර හා සාගර විද්යා හා තාක්ෂණ පීඨයට ඇතුලත් වූ ඔහු ඔහුගේ නිතැතින්ම හිමි නායකත්ව ගුණාංගය ඉස්මතු කරමින් පීඨයේ පළමු ශිෂ්ය සංගම් සභාපතිවරයා බවට පත් වූ අතර ධිවර සහ සාගර විද්යා හා තාක්ෂණ පීඨ මණ්ඩලයේ ප්රථම ශිෂ්ය සාමාජිකයෙකු ලෙස පත් විය. බාධා වලටත් බාධා කරමින් සහ ඒවා බිඳ දමමින් ඔහු ආ ගමනේ බාධාවන් තව දුරටත් ඔහු ඇත ඇරියේ නැත.
ඔහුගේ පියා දෙවන විවාහයක් සිදු කර ගනිමින් දිමුතු ඔහු කුඩා කල සිට මවුපිය සෙනෙහස ලබමින් ජීවත් වූ නිවසින් එලවා දමන්නේ “උඹ මගේ පුතා නෙවෙයි. අපි දෙන්නෙකුට මේ ගෙදර ඉන්න බෑ. මට මගේ ජීවිතය ගෙනියන්න දීපන්” යයි ඔහුගේ පියා සිත් පිත් නැති පියෙකු ලෙස ඔහුට බැණ වදිමිනි. උරුමයෙන් තමන්ට හිමි දේපල ඔහුගේ කුඩම්මා වෙත තීක්ෂණ ලෙස පවරා ගැනීමේ කුමන්ත්රණය ඔහුගේම නිවසින් ආරම්භ වන්නේ එලෙසිනි.
තමාගේ මවගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමට අධ්යාපනය දෙසටම හැරී සිටි දිමුතු මෙම තත්වයක් ගැන සිතා සිටියේ වත් නැත. යන්න තැනක් නැති, දුක කියන්න කෙනෙක් නැති, දිමුතු සරසවි අධ්යාපනය ලැබුවේ අපමණ පිඩා සහ හිගකම් මැදය. කිසිවෙකුත් නැති, කුසගින්න සමග පොර බදිමින් සිටි ඔහුට සමාජයෙන් හිමිවුයේ ප්රතික්ෂේප වීම පමණි. නමුත් එවැනි බාධා හමුවේද ඔහුගේ අධිෂ්ඨානය බලවත් විය. දිනපතා සිදු වන ප්රතික්ෂේප වීම් සහ පොරබදින දුක් වේදනා හමුවේ මෙවැනි කුරිරු සමාජය වෙනස් කර මනුෂ්යත්වයෙන් පිරි සමාජයක් ගොඩනැගීමේ ඔහුගේ බලවත් අධිෂ්ඨානය ඔහුව ගෙන ගියේ මාක්ස්වාදී දේශපාලනයටය. සරසවියේ සහ ජාතික ශිෂ්ය සටන් වල ඔහු පෙරමුණ ගත්තේය.
අවසානයේ ඔහුගේ මෙම ශිෂ්ය දේශපාලන ක්රියාකාරකම් හේතුවෙන් ඉතාමත් කුමන්ත්රණ කාරී ලෙස ඔහුගේ අවසන් විභාග ප්රතිඵල තාවකාලිකව අත්හිටුවන ලදී. බාධාවන්ට ද බාධා කරමින් ඔහු ආ ගමන ඉදිරියේ බාධාවන්ද තව දුරටත් ඔහුව අත ඇරියේ නැත. මෙම සිදුවීම් පෙළ අවසානයේ ඔහුගේ මුළු ලෝකයම තව දුරටත් අඳුරු කළේය. සරසවියේ තමන්ගේ පෙම්වතියද ඔහු අතහැර ගිය අතර ඇයගේ දෙමාපියන්ද දිමුතුට එරෙහිව පැමිණියේ ඉහ වහ යන ප්රශ්ණ ගොඩක් ඉදිරියේ ඔහු තනි කරමින් සහ සම්පුර්ණයෙන් බිඳ වට්ටමිනි. නමුත් ඔහු තම අධිෂ්ඨානය අත්හැර උදාර අරමුණ පාවා දීමට නොගිය බලවත් අධිෂ්ඨානශීලි මිනිසෙක් විය.
මෙවන් අධිෂ්ඨානශීලි සහ ධෛර්යවත් ගමනක් පැමිණි මේ මිනිසා දිනෙන් දිනම බිඳ වැටෙන්නට විය. “මා මේ ලෝකෙට ඉපදුනේ ඇයි”, “මගේ දෙමාපියන් මා වැනි මිනිසෙකු බිහි කලේ ඇයි” යන ප්රශ්න නගන තරමටම මෙම තත්වය ඔහු බිඳවට්ටන්නට විය. ඔහු කාලකන්නියෙක් යන මට්ටමටම පත් වන්නට විය. දිනෙන් දින උග්ර වන මෙම ප්රශ්න සහ තනිකම ඉදිරියේ බිඳ වැටුන මිනිසෙකු ලෙස කුසගින්න සහ ප්රතික්ෂේප වීම්ද සමග පොර බදිමින් ඔහු මේ වන විටත් අධික මත්පැන් පානයට ඇබ්බැහිව සිටි අතර දිනෙන් දිනම මත්පැන් පානය අධික වන්නටද විය.
මේ අතර එක් දිනක් උදා විය. දවසේ වැඩ අවසන් කර තම සේවකයා සමග සුපුරුදු ලෙසම තමා රැදී සිටි වතු බංගලාවේ සාලයේ මත්පැන් පානය කිරීම සඳහා ඔහු සුපුරුදු ලෙසම ඉඳ ගත්තේය. සුළු මොහොතක් ගත වීමත් සමග ඔවුන් දෙදෙනාට යම් ශබ්දයක් ඇසෙන්නට වුයේ එම වන්නේ එක් කොනක තිබු නිවසකිනි. එම ස්ථානයට ගිය දිමුතුට දැක ගන්නට හැකි වුයේ තවත් මිනිසෙකු මත්පැන් පානය කරමින් සිට “මට ආයේ අරක්කු එපා” කියමින් උගුරට ඇඟිල්ල දමමින් ඔහු පානය කල මත්පැන් වමනය කරන දසුනකි. ඉන් අනතුරුව එම නිවස තුලට ගිය දිමුතුට දැකගත හැකි වූ අනෙක් දසුන නම් තමාගේ පුතාට “මත්පැන් එපා වෙන්න” යයි දෙවියන් වහන්සේට යාඥා කරන ඔහුගේ පියාය. මෙය දිමුතුට අදහා ගත නොහැකි දසුනක් විය.
මීළඟ දිනය උදා විය. පසුගිය දින රාත්රියේ සිදු වූ මෙම දසුන තවමත් ඔහුට සිතා ගත නොහැකි විය. එහි ප්රතිඵලයක් ලෙස මෙතෙක් කලක් අවසානයක් නොමැතිව විවිධ ප්රශ්ණ වල පොර බැද මත්පැනට අධික ලෙස ඇබ්බැහිව සිටි දිමුතු දළුවත්ත නම් මිනිසා, අවසානයේ ගොස් නතර වුයේ මාතලේ ලංකා දේව සභා දේවස්ථානයේය.
එහිදී මෙතෙක් සියලු දෙනාගෙන් ප්රතික්ෂේප වූ දිමුතු දළුවත්ත නම් මේ වටිනා මිනිසා දේවගැති තුෂාර රත්නායකයන් සහ ඔහුගේ බිරිඳ සහෝදරි රුක්මනී විසින් ආදරයෙන් වැළඳ ගත්තේ සමාජයේ අනෙකුත් මිනිසුන් ඔහු දුටු ආකාරයට නොව, තමන්ගේ දරුවෙකු මෙන් ප්රේමාන්විතාවය. දීර්ඝ කතා බහකින් පසු දේවගැති තුෂාර රත්නායකයන් ඔහුට ඔවදනක් දුනි. එනම්, “කවුරුන් ඔබට මොනවා කරත් යේසුස් වහන්සේ ඔබට ආදරෙයි. මිනිස්සු කාට ඔබව එපා වුවත්, දෙවියන් වහන්සේට ඔබව අවශ්යයි. ඒ නිසා මුලින්ම පුතේ තාත්තට සමාව දෙන්න. ඔබට වරද කල සියලු අයට පුතේ සමාව දෙන්න” යන්නයි. ප්රථම වතාවට ඔහු දෙවියන් වහන්සේගේ ප්රේමය අත් දකින්නට විය. එය ඔහුට දෙවියන් වහන්සේ මුණ ගැසුණු මොහොත විය.
දෙවියන් වහන්සේගේ ප්රේමය ඔහුගේ මෙසේ වසර ගණනාවක් පුරාවට තිබු ඇබ්බැහියෙන් ඔහු නිදහස් කරන්නට සමත් වූ අතර ප්රතික්ෂේප වීම් සහ පිඩාවන්ගෙන් පිරි තිබු ඔහුගේ මනස දවස් පතා නිදහස් කරන්නට විය. දෙවියන් වහන්සේ ඔහුට අලුත් ජීවයක් දෙමින් ඔහුව නැගිටුවන්නට වූ අතර ඔහුගේ ජීවිතය සම්පුර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැප කරන ලදී.
“අධිපතින් සමග, එනම් ස්වකීය සෙනගගේ අධිපතින් සමග හිඳුවන පිණිස උන්වහන්සේ දුප්පතා ධුලියෙන් නැගිටුවන සේක, දිළින්දා කසල ගොඩින් ඔසවන සේක.”
— ගීතාවලිය 113:7-8
මෙලෙස ඔහුගේ වසර තුනක් පුරා අත්හිටුවා තිබු විශ්ව විද්යාල උපාධිය නැවතත් ඔහුට හාස්කමක් මෙන් ලැබුණි. එපමණක් ද නොව ලොව පිළිගත් ජාත්යන්තර රාජ්ය නොවන සංවිධානයක සේවය කිරීමටද ඔහුට අවස්ථාව උදා විය. අධ්යාපන ගමනද එතනින් නොනැවතුන ඔහු ලංකා දේව සභා බයිබල් විද්යලයේ ක්රිස්තියානි සේවය පිලිබඳ ශාස්ත්රපති උපාධියද, ලංකා බයිබල් විද්යාලයේ සංවිධාන නායකත්වය පිලිබඳ ශාස්ත්රපති උපාධියද, ඉන්දියානු සරසවියක දේවධර්මය පිලිබඳ ශාස්ත්රපති උපාධියද හදාරා සම්පුර්ණ කරණ ලදී. එතැනින්ද නොනැවතුන ඔහු දැනට ජල කළමනා කරණය පිළිබද යාපනය විශ්ව විද්යාලයේ උසස් අධ්යාපනය හදාරයි.
එපමණකින් නොනැවතී අද වන විට ඔහු දෙවියන් වහන්සේට කැප වූ ආදරණිය තරුණියක් සමග විවාහ වූ අතර දෙවියන් වහන්සේ ඔහුට ආදරණිය පුතෙකුද ත්යාගයක් මෙන් දී ඇත.
“උන්වහන්සේ භයානක වලකින් හැල්පතෙන් මා ඔසවා පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන ස්ථිර කල සේක.”
— ගීතාවලිය 40:2
මෙසේ නොනැවතුන දෙවියන් වහන්සේ දිමුතු දළුවත්තයන් තවත් ඔසවමින් අලුත් ගමනක් ගෙන ගියේය. ඔහු අද දේවගැතිවරයෙකි, ප්රධාන පුජකවරයෙකි. “තමාට ප්රථම සේවය” යන පාඨය රැගත් රොටරි සමාජයේ ක්රියාකාරිකයෙක් මෙන්ම කන්ද උඩරට රොටරි සමාජයේ හිටපු සභාපතිවරයා ද වෙයි. එපමණක් නොව ඔහුගේ සේවය අද ජාත්යන්තරය දක්වා ගොස් ඇති අතර එදා දුවිල්ලක් මෙන් ප්රතික්ෂේප වූ ඔහු අද ජාත්යන්තරව කීර්තිමත් පුද්ගලයෙකි. එදා සියලු දෙනාට එපා වූ ඔහු අද ජාතිකවත් ජාත්යන්තරවත් බොහෝ දෙනාට ආශිර්වාදයක් වන ලෙස දෙවියන් වහන්සේ විසින් ඔහුව ඔසවා ඇත.
පුජකවරයෙකු ලෙස ඔහුගේ කිතුනු සේවයට අමතරව කිතුණුවන්ගේ අයිතීන් උදෙසා ජාත්යන්තරව මැදිහත් වන්නෙකි. කිතුණුවන්ගේ අයිතීන් පිළිබඳව මහා බ්රිතාන්ය රජය, මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන සමග සාකච්ඡ කරන්නට තරම් ඔහු අද ඉහලින් තැබුවෙකි. තවද ඔහු මානව හිමිකම් ක්රියාකාරිකයෙකුද මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්යක්ෂකවරයා ලෙසද මානව හිමිකම් සහ කිතුණු අයිතීන් පිළිබඳවත් යුක්තිය, සාධාරණත්වය සහ අභිමානයකින් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා කැපවුවෙකි. එමෙන්ම පලස්තීන අර්බුදය පිළිබඳව ද තානාපතින් සහ ජාත්යන්තර සංවිධාන සමග ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නෙකි.
තවද ඔහු සංවර්ධන ව්යාපෘති ඇගයීම් සහ නියාමනය පිලිබඳ වෘත්තිකයෙකි, සංඛ්යානඥයෙකි, ජල කළමනා කරණය පිලිබඳ ලොව පිළිගත් වෘත්තිකයෙකි, ජාත්යන්තර රොටරි සමාජයේ ජලය හා සනීපාරක්ෂක සංවර්ධන ව්යාපෘතීන් පිළිබද තාක්ෂණික උපදේශක වරයෙකි.
“දවසත් ප්රකාශ කරන්නටද, වැලපෙන සියල්ලන් සනසන්නටද, සියෝන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මලාවකුත්, වැළපීම වෙනුවට ප්රීතිය නමැති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්රශංසාව නමැති වස්ත්රයත්, ඔවුන්ට දෙන්නට උන්වහන්සේ මා එවූ සේක.”
— යෙසායා 61:3
මෙසේ දෙවියන් වහන්සේ විසින් කසල ගොඩෙන් නැගිටුවා දුවිල්ලෙන් එස වූ ඔහු අද ලෝකයේ අසරණයන්ට බලාපොරොත්තුවක් දෙන්නා වූ දෙවියන් වහන්සේගේ ජීවමාන සාක්ෂියකි.
